පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ඔබ Minority Report සිනමා පටය නරඹා ඇත්නම් ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අති විශාල පරිගණක තිර ඉදිරියේ දෑතින් යම් යම් විධාන දෙමින් පරිගණක පද්ධතිය හසුරුවනු දකින්නට ඇත. LEAP හි ආවරණ ප්‍රදේශය Minority Report තරම් විශාල නොවූවත් ක්‍රියාකාරීත්වය එයට සමාන වේ. මෙහි චලන සංවේදී උපාංග ලෙස Infrared LED කීපයක් සහ මෙගා පික්සල 1.3 ක (1.3 MP) කැමරා සංවේදකයක් අඩංගු කර තිබේ. මෙමගින් ඝන අඩි 8 ක ප්‍රදේශයක් පුරා (සාමාන්‍ය ශීතකරණයක් තරම්) ත්‍රිමාන අවකාශයක සිදුවන චලනයන් ග්‍රහණය කරගනී. පරිශීලකයාගේ දෑත් සහ ඇඟිලි හසුරුවන රටාවන්ට අනුකූල සුවිශේෂී ඇල්ගොරිදම රටාවන් රැසක් හඳුනාගැනීමට LEAP මෘදුකාංගයට හැකියාව ඇත. සරලව පැවසුවහොත්, LEAP උපාංගය ඉදිරියේ හිස් අවකාශය මත, පෑනක් මගින් ඔබේ අත්සන "ලිවීමෙන්" ඉතා නිවැරදිව ඔබේ ඩිජිටල් අත්සන තිරය මතට ලබා දීමට මෙයට හැකිය. පරිශීලකයාගේ දෑතේ ත්‍රිමාන අවකාශී සිතියමක් මැවීමට එයට හැකිවන අතර දැන් මෙම දත්ත ආධාරයෙන් චලනයන් හඳුනා ගැනීමට එය සමත්වේ.
චලන සංවේදී උපාංග ලෙස මෑත කාලයේ තරමකට හෝ මතුවී ආවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ කයිනෙක්ට් (Kinect) උපාංගයයි. කෙසේ වුවත් එය ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩි පරාසයක මෙහෙයුම් ප්‍රමාණයක් හැසිරවීමට එයට නොහැකි විය. තවමත් පරිගණකයක් පාලනයට තරම් දියුණුවක් එය ලබා නොමැති අතර XBox පද්ධති හා වෙනත් පරිගණක ක්‍රීඩාවන් හැසිරවීම සඳහා එය බහුලව භාවිතා කෙරේ. LEAP හි චලන සංවේදීතාවය Kinect මෙන් 200 ගුණයක් ඉහළ අතර මිලිමීටරයකින් සියයෙන් එකක් දක්වා වූ අති සියුම් චලනයන් පවා එයට හසුකරගත හැකියි. කයිනෙක්ට් මෙන් නොව LEAP උපාංගය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තරම් කුඩා නිසා පහසුවෙන් හැසිරවිය හැකියි. තවමත් මුල් අදියරේ පවතින තාක්ෂණයක් වුවත් LEAP හි ඇති අතිසියුම් නිවරද්‍යභාවය විස්මය දනවන සුළුයි. LEAP හි අනාගත සංස්කරණ වලදී මෙහි සංවේදී උපාංග තවත් කුඩා කර ස්මාට් දුරකථන, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක පද්ධති තුලම LEAP පද්ධතිය ඇතුලත් වන ආකාරයෙන් තැනීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතී.
LEAP උපාංගයෙන් ඔබේ පරිගණකය හැසිරවීම ඉතා පහසුයි. USB සබඳතාවය හරහා LEAP උපාංගය පරිගණකයට සම්බන්ධ කර Leap Motion මෘදුකාංගය ධාවනය කළ පසු LEAP උපාංගය මත ඔබේ අත එක්වරක් වැනීම මගින් එය සක්‍රීය වේ. වෙනත් කිසිදු පුහුණු කිරීමක් හෝ ඉගෙනීමක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ සිතට එන ඕනෑම විධානයක් ඔබට හුරු පුරුදු හස්ත සංඥාවක් මගින් දැන් ක්‍රියාත්මක කරවිය හැකියි. එපමණක් නොව, ඔබට ඔබේ දෑතේ ඇඟිලි වලට අමතරව පෑනක් හෝ පැන්සලක් වැනි දෙයක් පවා භාවිතා කළ හැකියි. LEAP හි අධි-සංවේදීතාව හා නිවැරදි බවත්, LEAP මෘදුකාංග 'මොළයේ' බුද්ධිමත් භාවයත් නිසා විද්‍යා ප්‍රබන්ධ ගණයේ අත්දැකීමක් ඔබේ දෑස් ඉදිරිපිට මැවීමට LEAP උපාංගයට හැකියාව ලැබී තිබේ. ඔබට අවශ්‍ය ආකාරයේ විධානයන් LEAP මෘදුකාංගය වෙත program කිරීමටද හැකියාව ලබාදී ඇත. මෙමගින් ඔබටම ආවේනික වූ චලන විධානයක් පහසුවෙන් භාවිතා කළ හැකියි. LEAP උපාංගයක් කීපයක් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් ඔබේ සංවේදී ප්‍රදේශය වැඩි කරගන්නටත් පුළුවන්.
LEAP Morion සමාගම විසින් මේ වන විටත් LEAP උපාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයන් ලොව පුරා වෙසෙන මෘදුකාංග සංවර්ධකයින් හට ලබාදී තිබේ. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ LEAP උපාංගයේ විවිධ භාවිතාවයන් ඉස්මතු කරගැනීමටයි. මෙහිදී LEAP උපාංගය භාවිතයෙන් සිදුකළ හැකි විවිධ වැඩකටයුතු රාශියක් පිළිබඳ අදහස් මතුවී තිබේ. ත්‍රිමාන නිර්මාණ කරුවන්හට මවුසයෙන් වැඩ කරනවාට වඩා දස ගුණයක වේගයෙන් ත්‍රිමාන ආකෘති (3D Modeling) නිර්මාණය කරගත හැකියි. වින්ඩෝස් 7 / 8 පද්ධති හා Mac OS පාදක පරිගණක පද්ධති හැසිරවීම සඳහා වෙනත් කිසිදු වෙහෙසකින් තොරව LEAP යොදා ගැනීමට පුළුවන. පෙර සඳහන් කළ ආකාරයට ඩිජිටල් අයදුම්පතක් සඳහා ඔබේ අත්සන යෙදීමට ඔබ කළ යුත්තේ අවකාශය තුළ පෑනෙන් අත්සන් කිරීම පමණි. එසේම කිසිදු සැකයකින් තොරව පරිගණක ක්‍රීඩා ලෝලීන්ට තමන්ට රිසි අයුරින් ක්‍රීඩා කිරීමේ පහසුකම LEAP මගින් ලැබෙනු ඇත.
LEAP උපාංගය නිර්මාණය කිරීමේ අදහස එහි නිර්මාණකරුවන් වන ඩේවිඩ් හෝල්ස් සහ මයිකල් බක්වඩ් හට පැමිණ ඇත්තේ ත්‍රිමාන මොඩලයන් නිර්මාණය කිරීම සඳහා පරිගණකය භාවිතා කිරීමේදී යතුරු පුවරුවත්, මවුසයත් භාවිතයෙන් එය කිරීමට ඇති අපහසුතාවය තේරුම් යෑම නිසායි. පරිගණක තිරය මත අතත්‍ය (virtual) මැටි ගොඩක් ඇතැයි සැලකුව හොත්, අප සාමාන්‍ය ලෝකයේ එම මැටි පිඬ හැඩගස්වා අපට අවශ්‍ය රූපය නිර්මාණය කරන ලෙසටම පරිගණක තිරය තුල ඇති මැටි පිඬ ද හැඩගැස්වීමට හැකි විය යුතු යැයි ඔවුන් කල්පනා කලහ. මෙසේ ස්වභාවික හස්ත චලනයන් භාවිතයෙන් ත්‍රිමාණ රූ මැවීම සඳහා නිපදවුනු චලන තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් LEAP උපාංගය නිර්මාණය කර තිබේ.
LEAP හි අනාගතය සිතාගත නොහැකි තරම් චමත්කාරජනක වනු ඇත. අනාගත LEAP උපාංගයන් වඩාත් කුඩා වනු ඇති අතරම, වඩාත් පුළුල් පරාසයක ක්‍රියාත්මක වනු ඇත. එවිට කාමරය මැද ක්‍රිකට් පිත්ත වනමින් පරිගණකයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් ද, හිස් අවකාශයේ පැන්සල මෙහෙයවමින් චිත්‍ර අඳින කලාකරුවන් ද, හස්ත සංඥා මගින් පරිගණකයෙන් චැට් කරන ආබාධිතයන් ද අමුතු දසුනක් නොවනු ඇත.
LEAP උපාංගය ඩොලර් 70 කට මිළ කර ඇති අතර, 2013 වසරේ මුල් භාගයේදී මෙය වෙළඳපොලට නිකුත් කිරීමට LEAP Motion සමාගම බලාපොරොත්තු වේ.
මෙම වීඩියෝව නැරඹීමෙන් LEAP හි ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින්
වටහා ගැනීමට ඔබට හැකිවනු ඇත...
Read more: http://chathucn.blogspot.com/2012/11/leap.html#ixzz3kTVjCFEU